නීල ආර්ථිකයේ මාවත පුළුල් කරමින් නව පිටුවක් පෙරළන ශ්‍රී ලංකාවේ ජලශාස්ත්‍රීය අංශය .

ශ්‍රී ලංකාව වැනි දිවයිනකට “ජලශාස්ත්‍රය” රටේ සංවර්ධනය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ආරක්ෂිත නාවික ගමනාගමනය,සාගර සම්පත් කළමනාකරණය සහ සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සඳහා සාගරය සිතියම්ගත කිරීම අත්‍යවශ්‍ය වේ. වසර ගණනාවක් පුරා, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) ඇතුළු විවිධ ආයතන මෙම ප්‍රයත්නයට සම්බන්ධ වී ඇත. කෙසේ වෙතත්,ක්ෂේත්‍රයේ මෑත කාලීන සංවර්ධනය සැලකිල්ලට ගැනීමේදී ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය සහ වඩාත් ඵලදායි ජාතික ජලශාස්ත්‍රීය සේවාවක අවශ්‍යතාවය දැඩිව ඉස්මතු වී තිබිණ.

ඓතිහාසික වශයෙන්, නාවික සිතියම් නිෂ්පාදනයේ ආධිපත්‍යය දැරුවේ රාජකීය නාවික හමුදාවට අනුබද්ධ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය (UKHO) විසිනි, එය ලොව පුරා සිටින නාවිකයින්ට තීරණාත්මක තොරතුරු සපයන ලදී. ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු අනෙකුත් බොහෝ රටවල් ජල ශාස්ත්‍රීය දත්ත සහ නාවික සිතියම්කරණය සඳහා තම නාවික හමුදාව මත විශ්වාසය තබා ඇත්තේ එම දත්ත බොහොමයක් ඉතා සංවේදී සහ ජාතික ආරක්‍ෂාව කෙරෙහි ඉතා වැදගත් වන බැවිනි. 1983 දී මෙම වගකීම නාරා ආයතනය වෙත පැවරෙන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම අත්‍යවශ්‍ය කාර්යයට සක්‍රීයව සම්බන්ධ වී සිටියේය.

නාරා ආයතනය විසින් ශ්‍රී ලංකා මුහුදු තීරය සිතියම් කිරීමේ කාර්යය භාර ගත් නමුත් කාලයත් සමඟ ඔවුන් UKHO සමඟ ඇති කරගත් ඇතැම් ගිවිසුම් මගින් නිවැරදි ජල ශාස්ත්‍රීය දත්ත සඳහා ජාතියේ අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොකළ බව පෙනී ගියේය. මෙම ගිවිසුම් අපේ අනාගත සැලසුම් සඳහා ප්‍රමාණවත් නොවීම සහ මන්දගාමී ප්‍රගතිය ගැටළු සහගත වූ අතර, ප්‍රතිසංස්කරණ හා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය දැඩිව ඉස්මතු විය .

මෙම ගැටළු විසඳීමේ වැදගත්කම හඳුනා ගනිමින් ධීවර අමාත්‍යංශය මැදිහත් වීමෙන් , ශ්‍රී ලංකා නාවික හමුදාව සහ නාරා ආයතනය ,ජල ශාස්ත්‍රීය හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MOU) 2017 වසරේ එළඹීමත් සමඟ ශ්‍රී ලංකා ජලශාස්ත්‍රීය සේවය සුවිශේෂී සන්ධිස්ථානයකට ලගාවිය. මෙම අවබෝධය හරහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව විසින් ඉලෙක්ට්‍රොනික නාවික සිතියම් නිර්මාණය මගින් මෙන්ම කොළඹ වරාය නාවික සිතියම වැඩි දියුණු කිරීම කඩිනමින් සිදු කල අතර එමඟින් විශාල යාත්‍රා සඳහා ප්‍රවේශ විය හැකි ලෙස එම සිතියම යාවත්කාලීන කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කොළඹ වරාය ප්‍රධාන සමුද්‍රීය ගමනාන්තයක් ලෙස වැඩිදියුණු වූ අතර,ලොව විශාලතම මගී යාත්‍රා එහි ඇදී එන්නට විය . එය ,සමුද්‍රීය ගමනාගමනය සහ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට මහත් පිටුවහලක් වී ඇත.

ඉහත සඳහන් කළ අවබෝධතා ගිවිසුම අනුව නාරා ආයතනය සතු “සමුද්‍රිකා” පර්යේෂණ නෞකාවද ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරිණි.වසර දෙකකට අධික කාලයක් එක තැන නවතා තිබූ මෙම යාත්‍රාව නාරා ආයතනයේ සාගර විද්‍යාඥයන් සමඟ නැවත පර්යේෂණ ආරම්භ කරන්නේ නාවික හමුදාව මූලිකත්වයෙනි.එමෙන්ම එවකට නාවික හමුදාවේ ප්‍රධාන ජලශාස්ත්‍රීය නිළධාරියා එංගලන්තයට ගොස් UKHO සමඟ සාකච්ඡා කර සියලුම ගිවිසුම් ශ්‍රී ලංකාවට වාසි සහගත අන්දමෙන් වෙනස් කරගෙන ඇත .

*2022 දී ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත නාරා ආයතනය සහ නාවික හමුදාව මුහුණදෙන අභියෝග සඳහා, සාධාරණ හා පරිපූර්ණ තක්සේරුවක් සහතික කිරීම වෙනුවෙන් කමිටුවක් පිහිටුවන ලදී. එහි සභාපති ලෙස ගරු අමාත්‍ය නිමල් සිරිපාල , සහ කමිටු සාමාජිකයන් ලෙස ගරු අමාත්‍යවරුන් වන අලි සබ්රි , නසීර් අහමඩ්, විජේදාස රාජපක්ෂ, සහ ඩග්ලස් දේවානන්ද පත් කරන ලදී .දෙපාර්ශවයම කැඳවා සිදුකරන ලද දීර්ඝ විශ්ලේෂණයකින් පසු ඔවුන්ගේ ප්‍රධානතම නිර්දේශය වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂඥතාව සහ කාර්යක්‍ෂමතාවය හේතුවෙන් ජලශාස්ත්‍රීය සේවා පිළිබඳ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරිය යුතු බවයි.*

කැබිනට් කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ තිබියදීත්, ඇතැම් වෘත්තීය සමිති/නිළධාරීන්ගේ පුද්ගලික අවශ්‍යතා උත්සුකයන් මත මේ සඳහා නොයෙකුත් කුමන්ත්‍රණ දියත් වෙමින් පවතී . මෙම වෘත්තීය සමිතිවලින් එල්ල වූ බලපෑම් ගරු ධීවර අමාත්‍යවරයාටද බලපෑ බව වාර්තා වේ.ගරු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද නාවික හමුදාවට වගකීම් පැවරීමේ මූලික එකඟතාව යළි සලකා බැලුවේ ඒ බලපෑම් හමුවේය. 2017 අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේදී ද මෙවැනිම තත්වයන් නිර්මාණය වූ අතර එවකට සිටි අමාත්‍යවරු හා අමාත්‍යංශ ලේකම් වරිය ඒ විරෝධතා දක්ෂ ලෙස මැඩ පැවැත්වීය.

*කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුත්තේ පුද්ගලික අවශ්‍යතා නොව ජාතියේ අවශ්‍යතාවයයි.*

කමිටුවේ දීර්ඝ අධ්‍යයනය සහ නිර්දේශ ශ්‍රී ලංකාවේ ජලශාස්ත්‍රීය සේවා ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පතක් සැකසීමට හේතු විය. මෙම පනත් කෙටුම්පත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය නීතියක් ලෙස සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එය ශ්‍රී ලංකාවට සිය සමුද්‍රීය හැකියාවන් වැඩි දියුණු කිරීමට, සමුද්‍රීය ආරක්ෂාව වැඩි කිරීමට සහ විශාල යාත්‍රා තම වරායන් වෙත අඛණ්ඩව ආකර්ෂණය කර ගැනීමට අවස්ථාවක් සඳහා පෙරලෙන නව පිටුවකි. පනත් කෙටුම්පත සැලකිය යුතු ඉදිරි පියවරක් නියෝජනය කරන අතරම, එහි ප්‍රගතියට බාධා කිරීමට රජයේ නිළධාරීන් මාෆියාවන් උත්සාහ කරන බවට වාර්තා තිබේ. ශ්‍රී ලංකාවේ ජලශාස්ත්‍රීය සේවා අඛණ්ඩව සංවර්ධනය කිරීම සහතික කිරීම සඳහා මෙම ගැටළුවලට අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ ජලශාස්ත්‍රීය සේවා ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම රටේ ආර්ථික වර්ධනයට සහ සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීම සහ කමිටුවේ සම්පූර්ණ ඇගයීම මෙම සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා කැපවීමක් පෙන්නුම් කරයි. *ශ්‍රී ලංකාවේ නාවික ප්‍රයත්නයන් සඳහා සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතයක් සහතික කරමින් යෝජිත මෙම පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත කර ගැනීමට සම්බන්ධ වන සියලුම පාර්ශවයන් ජාතියේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දී එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.*

අයේෂ් ඉන්ද්‍රනාත් රණවක

විධායක අධ්‍යක්ෂ INORA ආයතනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *